උසස් පෙළ විභාගේ අන්තිම දවස් දෙක . ඒ කාලේ මට එපාම කරපු විෂය රසායන විද්‍යාව, විතරයි ඉතුරු වෙලා තිබ්බේ . මොනවා කරන්නද ඒකත් කරන්න එපයි. .
දවස තිස්සෙම පාඩම් කරලා මහන්සි වෙලා ටිකක් විවේක ගන්න කියලා හිතාගෙන මම කාමරෙන් එලියට බැස්සා. වෙලාව හවස හතරට විතර ඇති. අපේ ගෙයි මිදුලට බැස්සාම පෙනේන්න තිබුනේ එක ළඟ තියෙන කඳු ගැට දෙකක්. එකක් අර්ධ ගෝලයක් වගේ. ඊට ටිකක් පිටිපස්සෙන් තවත් කඳු ගැටයක් . ඒක තේ වත්තක්. මේ කඳු ගැට දෙක යා වෙන තැනින් දිය ඇල්ලක් කඩාගෙන වැටෙනවා. පිටිපස්සෙන් තියෙන කඳු ගැටය මැද්දෙන් පාරක් කපලා තියෙනවා. . .
හැන්දෑවේ ඉර එලිය වැටිලා මගේ වම් අත පැත්තේ අහස රතුම රතු පාටයි. තේ වත්තේ වැඩ ඇරිලා මිනිස්සු පාර දිගේ යනවා පේනවා. හරිම සුන්දර දර්ශනයක්.
කාබනික , අකාබනික , භෞතික රසායනයන්ගෙන් තෝන්තු වෙලා තිබුණු මගේ ඔලුවට හරිම සැනසීමක් දැනුනේ. ( තව එකක් තිබුනාද මන්දා…. මතක් කරාට මතක් වෙන්නෙම නැහැ. කාබනික, අකාබනික , භෞතික………. ම්ම්ම්ම්හු )
මම හෙමිහිට මිදුල කෙලවරට ඇවිද ගෙන ගියා . කඳු ගැට දෙක යාවෙන තැනින් වැටෙන දිය ඇල්ල එතෙන්ට හොඳට පේනවා. දිය ඇල්ලේ කවුදෝ නානවා වගේ දුරට පෙනුනා. මම ගෙදර දුවලා ගිහින් බයිනොකියුලර් එක අරගෙන ඇවිත් බැලුවා ඒ දිහා.
සුන්දර තරුණියක්. ඇය වීනස් දෙව් දුව වගේ. දිය රෙද්ද ඇඟටම ඇලිලා. හැන්දෑ අහසේ රන්වන් හිරු රැස් ඇඟට වැටිලා . ඒ මුළු දර්ශනයම සිතුවමක් වගේ. බලාගෙන ඉන්න පුළුවන් ඕනේ තරම් කල්.
ඒත් එහෙම කොහොමද ? හෙට විභාගේ ලියන්න එපයි. ආපහු හෙමිහිට කාමරේට ගාටන ගමන් මම කල්පනා කරා ඇයි මම මේ ලස්සන මෙතුවක් කාලෙකට දැක්කේ නැත්තේ කියලා. විභාගේ ඉවර උන ගමන් ඇවිත් මේ සුන්දරත්වය රස විඳින්න ඕනේ ඇති වෙන කම්. මට එහෙම හිතුනා. අර සුරූපිනිය කවුද කියලත් හොයන්න ඕනේ. කැමරාවක් අරගෙන හොඳ ෆොටෝ ටිකක් ගන්නත් ඕනේ .
ඒත් මට එහෙම කරන්න බැරි වුනා. විභාගේ ඉවර වුනාම ඒ හැම දෙයක්ම අමතක වෙලා ගියා. විභාගෙට පහු වෙනිදා ඉඳලම යාළුවො එක්ක රවුන් ගහන්න පටන් ගත්තා. ඊට පස්සේ ප්‍රථිපල එනකම් ඉන්න අතරේ පොඩි රැකියාවක් හම්බ වුනා. අතට පොඩි ගානක් එනවා. රස්තියාදුව තවත් වැඩි වුනා මිසක් සොබා සොඳුරු බව විඳින එක සම්පූර්ණයෙන්ම අමතක වෙලා ගියා.
ඊට අවුරුද්දකට විතර පස්සේ මම විශ්ව විද්‍යාලයට ගියා. එහෙ ඉන්න අතරේ අපේ පදිංචියත් වෙනස් වුනා. පරිසරයත් එක්ක ඒකාත්මික වුන අර වගේ සොඳුරු නිමේශයක් ආයි කවදාවත් ලැබුණේ නැහැ.
සටහන.- මේ සිදුවීම වෙලා දැන් ටිකක් කල්. මෑතකදී මම වෙන ගමනක් ගිහින් එන ගමන් මතක් වෙලා ඒ ගමට ගියා. අර අර්ධ ගෝලාකාර කඳු ගැටය සම්පූර්ණයෙන්ම කපලා දාල එතන ලොකු කම්හලක් හදලා. පිටිපස්සෙන් තිබුණු කඳු ගැටය වේලිලා ගිහින් දුඹුරු පාටයි. කඳු දෙක යා කරන තැනින් වැටුන දිය පාර වේලිලා .
ඒ දිය ඇල්ලේ එදා හැන්දෑවේ නාමින් සිටි යුවතිය මට මතක් වුනා. ඇය දැන් මොනවා කරනවා ඇත්ද? ජීවතුන් අතර ඉන්නවද? ඇය තවමත් ඒ වගේම සුන්දරද? නැතිනම් කාලයත් එක්ක ඇයත් මේ කඳු ගැට වගේ වියලි ගොස් ඇතිද?
රිදුම් දෙන හදවතට
ඔසුවක් සොයා
ලොව පුරා ඇවිද්දෙමි
දෙපා ගෙවෙන තෙක්
අපමණ වූ වෙදදුරන් හමු වූයෙමි
එහෙත් උන් සැම කියනුයෙ
සුව කල නොහැකි බැව් මය
මහද දිව ඔසුවකින් වත්
එකම පිලියම
ලය පලා සැතකින්
එලියට ගෙන රිදෙන හද
මල නොබැඳෙන වානේ වලින් සැදූ
නව හදක් තැබීමයි
රිදුම් දෙන මුත්
ලෙයින් මසින් සැදි හදවත සමග
හෙට දිනයේ මියෙන්නද?
සුදු යකඩ හදවතක් සමග
සියවසක් සිටින්නද?






